අමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ උසස් පාසලක් ඉලක්ක කර ගනිමින් තුවක්කුකරුවෙකු විසින් කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන්, කාන්තාවක් සහ නව යොවුන් වියේ පසුවන ගැහැණු ළමයෙකු මිය ගොස් තවත් හයදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ (24) උදෑසන ශාන්ත ලුවී හි මධ්‍යම දෘෂ්‍ය හා ප්රසාංගික කලා උසස් පාසලට එල්ල වූ ප්‍රහාරයෙන්, අනතුරුව පාසලේ සිසුන් පන්තිකාමරවල ජනේලවලින් පිටතට පැන ආරක්ෂාව පතා ගොඩනැගිල්ලෙන් පිටතට දිව ගිය බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.
අල් ජසීරා පුවත් වාර්තාවල දැක්වෙන පරිදි පොලිස් කොමසාරිස් මයිකල් සැක් ප්රවෘත්ති සාකච්ඡාවක දී පවසා ඇත්තේ, වෙඩික්කරු වයස අවුරුදු 20ක් පමණ වන බවයි.
එසේ ම වෙඩික්කරු හෝ වින්දිතයින් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැති අතර, වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ කාන්තාව ගුරුවරියක් දැයි පැවසීම පවා පොලිස් කොමසාරිස් මයිකල් සැක් විසින් ප්‍රතික්ෂේප කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
කෙසේ නමුත්, අදාල සිද්ධිය පිළිබඳ සැලවීමෙන් අනතුරුව පොලිස් නිලධාරින් එම ස්ථානයට කඩිනමින් ළඟා වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, පොලිස් නිලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවේ දී, තුවක්කුකරු මාරාන්තික තුවාල ලැබූ බව පොලිස් කොමසාරිස්වරයා තහවුරු කර තිබෙනවා.